විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් අතර හමුවක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
එහිදී වත්මන් IMF විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙන් (EFF) පසු ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම, ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ 2027 මාර්තු මාසයෙන් පසු ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
විදේශ අංශයේ තත්ත්වය, විදේශ විනිමය සංචිත, ණය තිරසරභාවය, රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ ආර්ථික වර්ධන අපේක්ෂා පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත්තේ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීමේ සහ ආර්ථික ගැළපුම් ක්‍රියාමාර්ගවල බර වැඩ කරන ජනතාව සහ අවදානමට ලක්විය හැකි පවුල් මත අසමානුපාතික ලෙස පැටවිය යුතු නොවන බවයි. දරිද්‍රතාව, ජීවන වියදම, උද්ධමනය, රැකියා සහ පවුල් ආදායම් කෙරෙහි ප්‍රතිසංස්කරණවල බලපෑමද ඇගයිය යුතු බව ඔහු පෙන්වා දී තිබෙනවා.
තවද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන ණය ගැටලු, බදු ප්රතිපත්තිවල බලපෑම් සහ 2027 මාර්තු මාසයෙන් පසු නව මූල්‍ය වැඩසටහනකින් තොරව ඉදිරියට යා හැකිද යන්න පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
















