ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර නිල හමුවක් අද (අප්‍රේල් 19) පෙරවරුවේ පැවැත්විණි. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දෙපළ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
මෙම හමුවේදී දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම සහ ආර්ථික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ බව විපක්ෂ නායකවරයා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කර ඇත. දෙරටේම ජනතාවට ප්‍රතිලාභ අත්වන අයුරින් විවෘත කළ හැකි ප්‍රායෝගික ආර්ථික අවස්ථා පිළිබඳව ඉතා ඵලදායී අදහස් හුවමාරුවක් මෙහිදී සිදු වූ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු හුදෙක් අසල්වැසියන් පමණක් නොව, පොදු ඉතිහාසයක් සහ අභියෝගයන් බෙදාගන්නා සැබෑ හවුල්කරුවන් බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර තිබේ. සියලු පුරවැසියන් වෙනුවෙන් මෙම ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ ප්‍රතිලාභ ළඟා කර දීම සඳහා වැඩි විශ්වාසයකින් යුතුව ඉදිරියට ගමන් කළ යුතු කාලය එළඹ ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා සිය මුහුණුපොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.














