ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට අනුව 2029 වසර වන විට සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති පසුබිමක, බදු එකතු කරගැනීම සඳහා රජය සතු නව විකල්ප වැඩපිළිවෙළ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 (2) යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා කරුණු රැසක් මතු කර සිටියේය.එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයකින් නැවතත් ආනයන කේන්ද්‍රීය ආර්ථිකයකට ගමන් කරමින් සිටින බවයි. සෙස් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හරහා රටේ වෙළඳ සමතුලිතතාවයට (Trade Balance) දැඩි හානිකර බලපෑම් එල්ල වන බව හෙතෙම අවධාරණය කළේය.මෙම බදු ඉවත් කිරීමේ එකඟතාව හේතුවෙන් දේශීය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මෙන්ම අපනයන කේන්ද්‍රීය දේශීය යෝධ කර්මාන්තශාලා ද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බව විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීය. මීට පෙර ද බ්‍රැන්ඩික්ස් (Brandix), මාස් (MAS) වැනි මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන සතු කර්මාන්තශාලා රැසක් වසා දමා ඉන්දියාව වැනි රටවල ස්ථාපිත වීමට මෙවැනි තත්ත්වයන් බලපා ඇති බවත්, ඒ හේතුවෙන් දේශීය රැකියා දහස් ගණනක් අහිමි වෙමින් පවතින බවත් ඔහු සිහිපත් කළේය.එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වුවමනාවන් මත පමණක් තීරණ නොගෙන, දේශීය කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කරගනිමින් රජය මේ සඳහා ඉදිරිපත් කරන විකල්ප බදු ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳව රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














