ශ්‍රී ලංකා පොලිස් සේවයට කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී සිදුව ඇති බරපතල අසාධාරණයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දැඩි විරෝධය පළ කර තිබේ.
2021 වසරේදී ආරම්භ වූ මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ මූලික පරීක්ෂණ, ලිඛිත පරීක්ෂණ සහ ඇඟිලි සලකුණු පරීක්ෂණ ඇතුළු සියලු අදියරයන් සාර්ථකව සමත් වූ අපේක්ෂිකාවන්ගේ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම කල් දැමීමට බලධාරීන් කටයුතු කර ඇත. මේ හේතුවෙන් වසර පහකට අධික කාලයක් ගතවී ඇතත් ඔවුන්ට තවමත් පත්වීම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී තිබේ.
ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේදී මෙම ගැටලුවට මුහුණ දී සිටින පාර්ශ්වය හමුවූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, 2021 වසරේ සිට පත්වීම් බලාපොරොත්තුවෙන් සිටින පිරිස නොසලකා හරිමින්, රජය විසින් නව ගැසට් නිවේදනයක් හරහා වයස් සීමා වෙනස් කරමින් සහ අධ්‍යාපන සුදුසුකම් ඉහළ දමමින් අලුතින් පිරිස් බඳවා ගැනීමට සූදානම් වන බවයි.
පසුගිය වසර පහක කාලය පුරා පත්වීම් නොලැබූ තරුණියන් වෙනුවෙන් රජය ලබා දෙන පිළිතුර කුමක්දැයි ප්‍රශ්න කරන විපක්ෂ නායකවරයා, මෙම අසාධාරණයට එරෙහිව දැඩි ලෙස හඬ නගමින් පවතියි.
දශක ගණනාවක් තිස්සේ සාර්ථකව ක්‍රියාත්මක වූ බඳවා ගැනීමේ ක්‍රියාවලීන් මෙලෙස හදිසියේ වෙනස් කිරීම සහ අපේක්ෂිකාවන් අසරණ කිරීම පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතු වී තිබේ.
















