එක් පුද්ගලයෙකුට දින 30ක් එනම් මසක් සම්පූර්ණයෙන් ජීවත් වීම සඳහා රුපියල් 7,315ක මුදලක් ප්‍රමාණවත් යැයි වත්මන් රජය පවසන බව පෙන්වා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේය.
වත්මන් ආර්ථික තත්ත්වය සහ ජීවන වියදම අහස උසට නැගී ඇති මෙවැනි පසුබිමක, මෙවැනි අවම මුදලකින් ජනතාවට ජීවත් විය හැකි යැයි සිතීම ජනතාවගේ යථාර්ථය නොදැන සිටීමක් බව හෙතෙම පෙන්වා දුන්නේය. මැතිවරණ සමයේදී ගොවීන්ගේ වී අස්වැන්න සඳහා ඉහළ සහතික මිලක් ලබා දෙන බවටත්, විවිධ සහන ලබා දෙන බවටත් දැවැන්ත පොරොන්දු ලබා දුන් වත්මන් පාලකයන්, අද වන විට එම වීවලට නියමිත නිසි මිලක් ලබා දීමට නොහැකිව සම්පූර්ණයෙන්ම අසමත්ව ඇති බවත් හෙතෙම කියා සිටියේය.
ජනතාවට දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති අතර, මේ වන විට ගොවි ජනතාව ඇතුළු සමස්ත මහජනතාව දැඩි අසරණභාවයට පත්ව සිටින බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















