ආණ්ඩුව වසර දෙකක් තිස්සේ රටේ ජනතාව වෙනුවෙන් සැබෑ සේවයක් ඉටු නොකර ‘අවුරුදු දෙකයි රටට සුබයි’ යන තේමාව යටතේ රැස්වීම් මාලාවක් පවත්වමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමගි වනිතා බලවේගයේ රත්තොට ආසන බල මණ්ඩලය පිහිටුවීමේ රැස්වීම අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට පොරොන්දු වූ සහන නොලැබීම, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා නොදීම, විදුලි බිල 33%කින් අඩු කරනවා වෙනුවට වැඩි කිරීම සහ තරුණයින්ට ලක්ෂ 12ට වාහන ලබාදෙන බවට වූ පොරොන්දු කඩකිරීම හරහා රට ‘සුබ’ වී ඇත්තේ කෙසේද යන්න ප්‍රශ්න කරන බවයි.
එමෙන්ම බඩු මිල අහස උසට ඉහළ යාම, රජයේ රෝහල්වල පවතින බරපතල ඖෂධ හිඟය නිසා නොමිලේ ලිය දෙන තුන්ඩුවට ෆාමසිවලින් මුදලට බෙහෙත් ගැනීමට සිදුවීම වැනි ගැටලු නිසා මහජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බවත්, මෙවැනි තත්ත්වයක් හමුවේ ආණ්ඩුව පවත්වන උත්සව ජනතාවට කරන හසනයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.













