පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ (PSTA) ඇතැම් ප්‍රධාන කරුණු, එය සලකා බැලූ කමිටුවේ එකඟතා සහ නිර්දේශවලින් සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බව හිටපු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, විශේෂයෙන් ඇප ලබාදීමේ විධිවිධාන සහ රඳවා තබා ගැනීම දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එවැනි වෙනස්කම් පවතින බවයි.
තමන් නීතිඥ සංගමයේ නියෝජිතයෙකු ලෙස අදාළ කමිටුවට සහභාගී වූ බවත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පරීක්ෂා කිරීමේදී එම වෙනස්කම් නිරීක්ෂණය කළ බවත් සාලිය පීරිස් මහතා සඳහන් කර තිබේ.
කමිටුව විසින් රැඳවුම් කාලය සීමා කිරීම සහ සැකකරුවෙකුට එරෙහිව ප්‍රමාණවත් කරුණු නොමැති අවස්ථාවක මහෙස්ත්‍රාත්වරයාට ඇප ලබාදීමට හැකිවීම ඇතුළු කරුණු කිහිපයකට එකඟ වී තිබූ බවද ඔහු පවසයි.
කෙසේ වෙතත්, ත්‍රස්තවාදය අර්ථ දැක්වීම, පරිපාලන රැඳවුම් සහ සංවිධාන තහනම් කිරීමේ බලය සම්බන්ධයෙන් තමන් කමිටුවේ බහුතර වාර්තාව සමඟ එකඟ නොවූ බවද සාලිය පීරිස් මහතා සඳහන් කර ඇත.
පනත් කෙටුම්පත වර්තමාන ආකාරයෙන් සම්මත වුවහොත් දීර්ඝ කාලීන රඳවා තබා ගැනීම් සිදුවිය හැකි බවත්, ඇතැම් අවස්ථාවල ප්‍රමාණවත් කරුණු නොමැති වුවද සැකකරුවන් රිමාන්ඩ් කිරීමට මහෙස්ත්‍රාත්වරුන්ට සිදුවිය හැකි බවත් ඔහු අනතුරු අඟවා තිබේ.













