ශ්රී ලංකාව සහ රුමේනියාව අතර වෙළෙඳ, ආයෝජන, විදේශ රැකියා, සංචාරක හා අධ්යාපන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
දෙරට අතර හයවන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය රුමේනියාවේ බුකාරෙස්ට් නුවරදී පැවැති අතර, ශ්රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා ඊට සහභාගී විය. රුමේනියාවේ උපායමාර්ගික හා ගෝලීය කටයුතු පිළිබඳ රාජ්ය ලේකම් ඇනා-ක්රිස්ටිනා ටින්කා මහත්මිය සමඟ ඔහු එම සාකච්ඡාවල සම සභාපතිත්වය දැරීය.
රුමේනියාවේ පදිංචිව සිටින සහ රැකියාවල නිරතව සිටින ශ්රී ලාංකිකයන් 26,000කට ආසන්න පිරිසකගේ සුබසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ. විදේශ රැකියා ක්ෂේත්රයට අදාළ ප්රතිපත්තිමය හා ආයතනික කරුණු මෙන්ම ශ්රී ලාංකික රියදුරු බලපත්ර සම්බන්ධ ගැටලු පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇත.
එමෙන්ම, වෙළෙඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කොළඹ සහ කොන්ස්ටන්සා වරායන් අතර සමුද්රීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ දෙරටේ ආර්ථික හවුල්කාරිත්වය වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
2027 වසරේදී ශ්රී ලංකාව සහ රුමේනියාව අතර රාජ්යතාන්ත්රික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරීමට නියමිත අතර, දෙරට අතර දිගුකාලීන මිත්රත්වය දෙරටේ ජනතාවට ප්රායෝගික ප්රතිලාභ සැලසෙන සහයෝගීතාවක් බවට පත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇත.
















