ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි මාසය තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඩොලර් මිලියන 223.3ක දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් අලෙවි කර ඇති බව වාර්තා වේ. මැයි මාසයේදී මහ බැංකුව මිල දී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 12ක් පමණක් වන අතර, ඒ අනුව ශුද්ධ වශයෙන් විකුණා ඇති ඩොලර් ප්‍රමාණය මිලියන 211.3කි. මෙය 2024 වසරේ සිට මේ දක්වා කැලැන්ඩර් මාසයක් තුළ මහ බැංකුව සිදුකළ විශාලම ඩොලර් අලෙවිය ලෙස සටහන් වේ.
මෙහි ඇති විශේෂත්වය වනුයේ 2024 සමස්ත වසරේම (මිලියන 183) සහ 2025 සමස්ත වසරේම (මිලියන 205.3) මහ බැංකුව විකුණා තිබූ මුළු ඩොලර් ප්‍රමාණයටත් වඩා වැඩි අගයක් 2026 මැයි මාසය තුළ පමණක් අලෙවි කිරීමට සිදුව තිබීමයි. 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මහ බැංකුව වෙළෙඳපොළෙන් විශාල වශයෙන් ඩොලර් මිල දී ගත් නමුත්, පෙබරවාරි මස අග සිට මැදපෙරදිග හටගත් යුදමය අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල මත එල්ල වූ විනිමය පීඩනය පාලනය කිරීමට මෙලෙස දිගින් දිගටම ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීමට මහ බැංකුවට සිදුව ඇත.
සමස්තයක් ලෙස 2026 වසරේ මුල් මාස 5 තුළ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 886.10ක් මිල දී ගෙන ඇති අතර විකුණා ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය මිලියන 400.20 කි. ඒ අනුව ගතවූ මාස 5 තුළ මහ බැංකුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 485.90ක් වෙළෙඳපොළෙන් මිල දී ගෙන තිබේ. කෙසේ වෙතත්, පවතින ගෝලීය සහ දේශීය ආර්ථික පීඩනය හමුවේ 2026 ජූනි 05 වන විට ශ්‍රී ලංකා රුපියල, වසරේ මේ දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 7.8%කින් අවප්‍රමාණය වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
















