ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවට පිළිකාවක් වැළඳී ඇති බවත්, ඇය හඬමින් ප්‍රථම වතාවට ඒ පිළිබඳව වීඩියෝවක් නිකුත් කර ඇති බවත් සඳහන් කරමින් යූ ටියුබ් (YouTube) හරහා සංස්කරණය කරන ලද අසත්‍ය වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. මෙම අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දැඩි ලෙස කෝපයට පත්ව ඇති ඇයගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සිය නිල ෆේස්බුක් ගිණුමෙහි දැඩි විරෝධය පළ කරමින් සටහනක් තබා තිබේ.
මීට පෙරද තමා සම්බන්ධයෙන් විවිධ අසත්‍ය කටකතා සහ බොරු ප්‍රවෘත්ති පුවත් මවමින් සමාජ මාධ්‍යවල පළ කර ඇති බව පෙන්වා දෙන කාවින්ද්‍යා, තමා ගැන කුමන මගුලක් දැමුවද එය ඉවසීමට හැකි වුවද, මවගේ ජීවිතය හා සෞඛ්‍යය සම්බන්ධයෙන් මෙවැනි දරුණු හා අසත්‍ය කටකතා පැතිරවීම කිසිසේත් ඉවසීමට නොහැකි බව අවධාරණය කර සිටියි. අනුන්ගේ ජීවිත අසරණ කර රිද්දමින් සමාජ මාධ්‍යවල ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කරන මෙවැනි ක්‍රියාවන් ඇය දැඩි ලෙස හෙළා දමා ඇත.
එම වීඩියෝව සඳහා යොදාගෙන ඇත්තේ ඇයගේ මම්මා (අම්මාගේ අම්මා) ගැන පැවසූ කතාවක වීඩියෝවක් වැරදි ලෙස සංස්කරණය (edit) කර බවද කාවින්ද්‍යා පෙන්වා දී තිබේ. එබැවින් සමාජ මාධ්‍යවල දකින හැමදේම සහ තමාගේ හෝ පවුලේ අයගේ මුවින් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් වන තුරු එවැනි අසත්‍ය තොරතුරු සත්‍ය ලෙස නොපිළිගන්නා ලෙස ඇය රසික රසිකාවියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. මිනිසුන් මෙලොව ජීවත් වන කෙටි කාලය තුළ අනුන් රිද්දන්නේ නැතිව සැනසීමෙන් ජීවත් වීමට ඉඩ හරින්නැයි පවසමින් ඇය සිය සටහන අවසන් කර ඇත.
















