ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ‘2026 ICC Emerging Asia Banking Conclave & Awards’ සම්මාන උළෙලේදී කෘත්රිම බුද්ධිය (AI) සහ යන්ත්ර ඉගෙනීම (ML) තාක්ෂණය ඵලදායී ලෙස බැංකුකරණයට එක් කිරීම වෙනුවෙන් විශේෂ ඇගයීමේ සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකුව සමත්ව තිබේ. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම කලාපීය ප්රමුඛ මූල්ය ඇගයීම් උළෙලේදී සම්මානයට පාත්ර වූ එකම ශ්රී ලාංකික මූල්ය ආයතනය බවට සම්පත් බැංකුව පත්වීම, මෙරට ඩිජිටල් බැංකු ක්ෂේත්රයේ නවමු සන්ධිස්ථානයක් සටහන් කිරීමකි.
BIMSTEC කලාපය පුරා පිහිටි මූල්ය ආයතනවල කාර්ය සාධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ නැගී එන තාක්ෂණයන්හි ප්රායෝගික භාවිතය පිළිබඳව හිටපු මහ බැංකුකරුවන්ගෙන් සහ නියාමකයන්ගෙන් සමන්විත ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් PwC India සමාගමේ ක්රියාවලි සමාලෝචනය මත පදනම්ව මෙම සම්මානය ප්රදානය කර ඇත. පාරිභෝගික රුචිකත්වයන් හඳුනා ගැනීම, අවදානම් කළමනාකරණය, තීරණ ගැනීමේ නිවැරදිතාව සහ සයිබර් ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම උදෙසා දත්ත විද්යාව සහ විශ්ලේෂණ ප්රශස්ත ලෙස යොදා ගැනීමට සම්පත් බැංකුව දක්වන ලද නායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබේ.
ගෝලීය මූල්ය තාක්ෂණික ප්රවණතාවන්ට අනුගත වෙමින් දේශීය බැංකු ක්ෂේත්රය ඩිජිටල් පරිවර්තනයකට ලක්වීම, මෙරට මූල්ය ස්ථාවරත්වයට සහ ජාත්යන්තර තරඟකාරීත්වයට ප්රබල පිටුවහලක් වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉදිරියේදී AI තාක්ෂණය පදනම් කරගත් මූල්ය විසඳුම් පුළුල් වීමත් සමඟ ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත් හා නිරවද්ය සේවාවක් හිමිවන අතරම, කලාපීය වශයෙන් ශ්රී ලංකාවේ තාක්ෂණික භාවිතයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමට ද මෙම ජාත්යන්තර ඇගයීම මඟපාදනු ඇත.














