රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘සරසවි දිරියෝ අභිමන්’ ශිෂ්‍යාධාර වැඩසටහන ඊයේ (11) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි. මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ආබාධ සහිත සරසවි සිසුන් සඳහා රුපියල් ලක්ෂයක මුදලකින් යුත් ශිෂ්‍යාධාර පිරිනැමීම සිදුකරන ලදී.
කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකර, විශේෂ අවශ්‍යතා සහිත සියලු දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විවිධත්වය පිළිගත යුතු බව පෙන්වා දුන් ඇය, ආබාධ සහිත සිසුන්ට විශ්වවිද්‍යාල තුළ අවශ්‍ය ප්‍රායෝගික පහසුකම් සලසා දීම සඳහා උපකුලපතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සුවිශේෂී වගකීමකින් බැඳී සිටින බව ප්‍රකාශ කළාය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය වඩාත් ඇතුළත්‌ශීලී සහ සාධාරණ වේදිකාවක් බවට පත්කිරීම උදෙසා රජය විසින් ගනු ලබන මෙම පියවර, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා ආබාධ සහිත සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දිරිමත් කරමින් ඔවුන් සමාජයේ සම අයිතීන් ලබන පුරවැසියන් ලෙස බලගැන්වීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
















