තංගල්ල, සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ජල කරාමයක් අසල වැටී තිබියදී 88 හැවිරිදි සිව්දරු පියෙකුගේ මළ සිරුරක් ඊයේ (11) රාත්‍රී පොලිසිය විසින් සොයාගෙන තිබේ. බෙලිඅත්ත, සියඹලාගොඩ, දිගංවල ලිපිනයේ පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ ධනපාල නමැති අය මෙලෙස මියගොස් ඇති අතර, ඔහුගේ සිරුරේ තිබී කැපුම් තුවාල කිහිපයක් හමුවීමත් සමඟ මෙය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරයි.
මියගිය පුද්ගලයාගේ බාල පුතු වන 48 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්‌අඩංගුවට ගෙන ඇත. අත්‌අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති අතර, ඔහු ඊයේ උදෑසන 11ට පමණ පියාගේ නිවසට පැමිණ ඇති බවට මූලික විමර්‌ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‌ශන තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය විසින් පවත්වනු ලබයි. මියගිය පුද්ගලයා තම බිරිඳ සමඟ මෙම නිවසේ තනිව වාසය කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සියලු සාක්ෂි සහ විමර්‌ශන වාර්‌තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදමින් සිටී.
















