ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය ඇතුළු මෙරට කාන්තා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් නවදිල්ලියේදී ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා (Om Birla) මහතා හමුවූහ.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ පාර්ලිමේන්තු සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මෙම හමුව පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය කථානායකවරයා සඳහන් කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික හා ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා මෙමඟින් තවදුරටත් තහවුරු වූ බවයි.
කාන්තා නායකත්වය ප්‍රවර්ධනය කිරීම, ඇතුළත් සංවර්ධනය (Inclusive Development) සහ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. එසේම දෙරටේ පාර්ලිමේන්තු අතර අදහස් හුවමාරු කර ගැනීම මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් වන බව ද කථානායකවරයා පෙන්වා දුන්නේය.
දෙරටේ ජනතාව අතර පවතින සබඳතා ගැඹුරු කිරීමටත්, පොදු අරමුණු වෙනුවෙන් කැපවීමටත් මෙම සංචාරය මහඟු පිටිවහලක් වනු ඇති බව දෙපාර්ශ්වයේම විශ්වාසයයි.














