වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 අගෝස්තු 08 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත හෙළීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට අදාළ සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය.
මෙහිදී සුදු ලූනු කිලෝවක පැරණි මිල රුපියල් 699.00 ක් වූ අතර නව මිල රුපියල් 649.00 ක් දක්වා රුපියල් 50.00 කින් අඩු කර ඇත. ලොකු ලූනු කිලෝවක පැරණි මිල රුපියල් 259.00 සිට රුපියල් 224.00 ක් දක්වා රුපියල් 35.00 කින්ද, අර්තාපල් කිලෝවක පැරණි මිල රුපියල් 259.00 සිට රුපියල් 239.00 ක් දක්වා රුපියල් 20.00 කින්ද පහත දමා තිබේ. රට කජු කිලෝවක් රුපියල් 869.00 කටත් (රුපියල් 10 ක ඉතිරියක්), සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 187.00 කටත් (රුපියල් 9 ක ඉතිරියක්) මිල නියම කර ඇත. මීට අමතරව, මුං ඇට කිලෝවක් රුපියල් 844.00 ක් (රුපියල් 5 ක ඉතිරියක්), රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 169.00 ක් (රුපියල් 4 ක ඉතිරියක්), දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 197.00 ක් (රුපියල් 2 ක ඉතිරියක්), කඩල කිලෝවක් රුපියල් 327.00 ක් (රුපියල් 2 ක ඉතිරියක්) සහ උඳු කිලෝවක් රුපියල් 864.00 ක් (රුපියල් 1 ක ඉතිරියක්) ලෙස නව මිල ගණන් යටතේ අලෙවි කිරීමට සතොස පියවර ගෙන තිබේ.














