සිය ධූර කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ සෞදි අරාබි රාජධානියේ තානාපති කලීඩ් හමූද් නසාර් අල්කහ්තානි මහතා ඊයේ (16) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී සිය සමුගැනීමේ නිල පණිවුඩය දන්වා සිටියේය.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්වූ අතර, විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටු බලපෑමෙන් පසු සෞදි රජය ලබාදුන් මානුෂීය ආධාර සහ අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමට දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ඇය කෘතඥතාව පළ කළාය. තම ධූර කාලය තුළ ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු සහයෝගය පිළිබඳව ස්තූතිය පළ කළ තානාපතිවරයා, ඉදිරියේදීත් සෞදි අරාබියේ සහයෝගය ශ්‍රී ලංකාවට හිමිවන බවට සහතික විය. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි දෙපාර්ශවයේම අවධානය යොමු විය.
















