2024 වසරේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදුකළ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයකට අනුව, වයස අවුරුදු 13-14 අතර දරුවන්ගෙන් 12%ක් අධිබරින් ද, 3%ක් ස්ථූලතාවයෙන් ද පෙළෙන බව හෙළි වී ඇතැයි පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පවසයි.
සමීක්ෂණයෙන් හෙළි වූ පෝෂණ රටාවේ ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමේදී, පාසල් දරුවන්ගෙන් 17.4%ක් දිනපතා කාබනීකෘත බීම වර්ග පානයට පුරුදු වී සිටින අතර, 28.5%ක් දරුවන් අධික ලුණු සහ තෙල් සහිත ආහාර අනුභව කරන බවද හෙළි වී ඇත. එසේම 41%ක් දරුවන් දිනකට එක් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සීනි සහිත ආහාර ගනු ලබයි.
මෙම තත්ත්වයට විසඳුමක් ලෙස, ඉදිරියේදී පැවැත්වෙන ජාතික පෝෂණ දින සැමරුම් වැඩසටහනේදී සෞඛ්‍යමත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශ මාලාවක් එළි දැක්වීමට නියමිතය. මෙම මාර්ගෝපදේශ හරහා, මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව පාසල් ආපනශාලා තුළ සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ඇත.
2026 ජාතික පෝෂණ මාසයේ තේමාව වන්නේ “කෙටි ආහාර ගැන නැවත සිතමු” යන්නයි. නිවසේ පිළියෙළ කරන ලද ආහාර වෙනුවට අති සැකසූ ආහාර දරුවන්ගේ දෛනික ආහාර වේලෙහි කොටසක් බවට පත්වීමෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ පිළිකා වැනි බෝ නොවන රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. නිවසේදී සකස් කළ ස්වභාවික ආහාර තෝරා ගැනීම සහ නියමිත වේලාවට සමබල පෝෂ්‍යදායී ප්‍රධාන ආහාර වේල් ගැනීම මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
















