ගාල්ල උණවටුන රූමස්සල පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකට දරුවන් දෙදෙනකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විදුහල්පතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර ඇත. පසුගිය 08 වැනි දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරගත කළ දිගරැන්ද අහංගම පදිංචි රංජිත් පොන්සේකා නමැති සැකකරුට මෙසේ ඇප නියම කෙරිණි.
දරුවන් දෙදෙනාගේ මව කරන ලද පැමිණිල්ලක් අනුව හබරාදූව ගාල්ල පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳසැලක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරු 2026 පළමු වසරට හා 8 වසර පන්තියට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා මෙම මුදල් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේදී පවසා තිබේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා චෝදනා ප්‍රතික්ෂේප කරමින්, සැකකරුගේ කකුලේ පවතින තුවාලයක් හේතුවෙන් බන්ධනාගාරය තුළදී විෂබීජයක් ශරීරගත වීමේ මාරාන්තික අවදානමක් ඇති බවට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සහ සුවිශේෂී කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව සැකකරුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර, විදෙස් ගමන් තහනම් කරමින් සහ අදාළ පාසලට ඇතුළු වීම තහනම් කරමින්, විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 20 දින ඉදිරිපත් කරන ලෙස කොමිසමට නියෝග කර තිබේ.














