ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නිර්මාතෘ සහ ප්‍රථම සභාපති දිවංගත මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 49 වන ගුණ සමරුව සහ සංස්ථාවේ 55 වන සංවත්සර සැමරුම ඊයේ (30) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එහිදී දිවංගත මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ජායාරූපයකට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් සඳහන් වූයේ, පැවැති ව්‍යාකූල තත්ත්වයෙන් ඖෂධ සැපයුම ප්‍රකෘතිමත් කරමින් 50%ක පමණ මට්ටමක පැවැති රජයේ රෝහල්වලට ඖෂධ සැපයීම 96% දක්වා වර්ධනය කර ඇති බවයි. රජය විසින් වසරකට ඖෂධ හා ශල්‍ය උපකරණ සැපයීම සඳහා රුපියල් බිලියන 185ක් වෙන්කර ඇති අතර, තාක්ෂණික ගැටළු නොමැති සැපයුම්කරුවන්ට ප්‍රමාදයකින් තොරව මුදල් ගෙවීමට පියවර ගෙන ඇත. තවද, ඉතිහාසයේ පළමු වතාවට ලබන වසරේ සිට රජයේ අරමුදල් 100%ක් යොදවා මෙරටට අවශ්‍ය සියලු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට කටයුතු කරන බවද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පවුලේ සාමාජිකයන්, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සේනක පිලපිටිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විද්වතුන් සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
















