පොදු ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගනිමින් කඩවත බස් නැවතුම්පොළේදී ඊයේ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී පුද්ගලයන් හත් දෙනෙකු (07) භයානක මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මෙම වැටලීම සිදු කෙරිණි.
මගී ආරක්ෂාව සහ මාර්ග විනය තහවුරු කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. කඩවතදී සිදුකළ මෙම මෙහෙයුමේදී රියදුරන් සහ කොන්දොස්තරවරුන් 148 දෙනෙකු අහඹු ලෙස පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් හත් දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම රසායනාගාර බස් රථය මඟින් තහවුරු කරගෙන ඇත.
මාර්ග අනතුරු ඉහළ යාමට මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රබල හේතුවක් වී ඇති බැවින්, මත්ද්‍රව්‍යවලින් තොර විනයගරුක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීම රජයේ අරමුණයි. ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයන්ට එරෙහිව රටේ පවතින නීතියට අමතරව දැඩි ආයතනික විනය පියවර ගන්නා බවට ද බලධාරීන් අනතුරු අඟවා සිටියි.














