අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වියට්නාම ජාතිකයන් 74 දෙනා ලබන ජුනි 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
අපරාධ ස්ථානයෙන් අත්අඩංගුවට ගත් පරිගණක 100කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාගාරයට භාර දී ඇත. පරිගණකවල මුරපද (Passwords) යොදා තිබීම හේතුවෙන් ඒවා පරීක්ෂා කිරීමේදී ගැටලු මතු වී තිබේ.
මෙම පිරිසට වැටුප් ලබා දුන් බව කියන මෙරට කාන්තාවක වන මධුෂානි අල්මේදා නැමැත්තිය මෙම නඩුවේ සැකකාරියක ලෙස නම් කර ඇත. ඇය දැනට ප්‍රකාශිත ලිපිනයේ නොමැති බැවින් ඇය අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරේ.
කොල්ලුපිටිය අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වීසා කොන්දේසි කඩ කරමින් මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචා සිදු කළ මෙම 19ත් 39ත් අතර වයසේ පසුවන වියට්නාම ජාතිකයන් 41 දෙනෙකු සහ කාන්තාවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගැණින.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.














