පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරී වසම් 17ක ජීවත්වන පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට ඇතැම් ප්‍රදේශවල පානීය ජල හිඟයක් මතුව ඇති අතර, කෘෂිකර්මාන්තයට සහ දෛනික ජනජීවිතයටද බරපතළ බලපෑම් එල්ල වී තිබේ. පොළොන්නරුව (හිඟුරක්ගොඩ, හතරැස් කොටුව මාකුලා වැව) සහ මිහින්තලේ (පූනා වැව, සුරුක්කුලම වැව, කෝන් වැව සහ වෙරුප්පන්කුලම පංසල් වැව) ආදී ප්‍රදේශවල වැව් සිඳී යාම හේතුවෙන් ගම්වාසීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. අද දිනයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ද පොළොන්නරුව ප්‍රදේශයෙනි.
මඩකලපුව, මොණරාගල, රත්නපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ජල ගැටලු පවතින ප්‍රදේශවලට මේ වන විටත් බවුසර් මඟින් ජලය බෙදා හැරීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.
පවතින උණුසුම් කාලගුණයත් සමඟ විශාදය වැනි රෝගී තත්ත්වයන් උත්සන්න වීමේ හැකියාවක් පවතින බව රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පෙන්වා දෙයි. එසේම, එල් නිනෝ තත්ත්වය සහ දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක අවශ්‍යතාව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී ද සාකච්ඡාවට ලක් කර ඇත.
















