ප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂ්‍රොෆ් යන නළුවන්ට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආහාර සුරක්ෂිතතා අංශය විසින් නොතීසි නිකුත් කර තිබේ.
‘විමල් ඉලයිචි’ (Vimal Elaichi) දැන්වීම හරහා වක්‍රාකාරයෙන් “pan masala” නම් දුම්කොළ මිශ්‍ර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙම නොතීසි නිකුත් කිරීමට හේතුවී ඇත. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ “pan masala” නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම තහනම් කර ඇති පසුබිමක් තුළ, මෙම දැන්වීම් මඟින් පාරිභෝගිකයන් නොමඟ යවන බවත් තහනම් නිෂ්පාදනයක් වක්‍රාකාරයෙන් ප්‍රවර්ධනය කරන බවත් පිටු නවයකින් යුත් නොතීසි පතෙන් පෙන්වා දී තිබේ.
ඒ අනුව අදාළ දැන්වීම් වහාම අත්හිටුවන ලෙසත්, ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලින් සියලුම ප්‍රවර්ධන අන්තර්ගතයන් ඉවත් කරන ලෙසත් නළුවන්ට දන්වා ඇත. මෙම මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10ත් 50ත් අතර දඩ මුදල් නියම වීමට සහ වසර තුනක් දක්වා කාලයක් සඳහා වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීම තහනම් කිරීමටද හැකියාව පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.














