යාපනය සහ කිලිනොච්චි දිස්ත්රික්කවල නව මත්පැන් අලෙවිසල් ආරම්භ කිරීමේ යෝජනා සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්රී ශානක්යන් රාසමාණික්කම් මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්රශ්න කර තිබේ.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ කරුණු මතු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, යෝජිත මත්පැන් අලෙවිසල් පාසල්, ආගමික ස්ථාන සහ නේවාසික ප්රදේශ ආසන්නයේ පිහිටුවීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධතා පවතින බවයි. උතුරු පළාතේ සංවර්ධනය සඳහා නව මත්පැන්හල් වැඩි කිරීම වෙනුවට ජනතාවගේ ජීවනෝපාය, පොදු සේවා සහ ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කර ඇත.
2024 වසරේ රනිල් වික්රමසිංහ පාලන සමයේදී මත්පැන් බලපත්ර 361ක් නිකුත් කළ බවට පළවන තොරතුරු සම්බන්ධයෙන්ද මන්ත්රීවරයා ප්රශ්න කර තිබේ. එම බලපත්ර නිර්දේශ කළ දේශපාලනඥයන්ගේ නම්, ප්රතිලාභීන්ගේ තොරතුරු, අක්රමිකතා පිළිබඳ විමර්ශනවල ප්රතිඵල සහ අවලංගු කළ බලපත්ර සංඛ්යාව හෙළි කරන ලෙස ඔහු ඉල්ලා ඇත.
මීට අමතරව, විශේෂයෙන් මඩකලපුව දිස්ත්රික්කයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් දැඩි ක්රියාමාර්ග ගන්නා ලෙසත්, නැවත නැවත වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පනවන ලෙසත් ඔහු ඉල්ලා තිබේ. 2025 සහ 2026 වසරවල නීතිවිරෝධී මත්පැන් වැරදි පිළිබඳ දිස්ත්රික් මට්ටමේ සංඛ්යාලේඛන මෙන්ම 2024 සැප්තැම්බර් මාසයේ සිට යාපනයේ හා කිලිනොච්චියේ යෝජනා කළ, අනුමත කළ සහ නිකුත් කළ මත්පැන් බලපත්ර පිළිබඳ තොරතුරුද ඔහු ඉල්ලා ඇත.
මන්ත්රීවරයාගේ ප්රශ්නවලට පිළිතුරු දෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කර ඇත්තේ, වැරදිකරුවන්ට පනවන දඬුවම් වැඩි කිරීම සඳහා සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීමට කෙටුම්පත් සකස් කර ඇති බවයි. පවතින ආඥාපනතේ අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කර ඇති බවත්, අදාළ නීතිමය සංශෝධන ඉදිරියේදී ඊට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.














