උතුරු චීනයේ ෂැන්සි (Shanxi) ප්‍රාන්තයේ පිහිටි ගල් අඟුරු පතලක සිදු වූ දරුණු ගෑස් පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි. ෂැන්සි ප්‍රාන්තයේ තොන්ෂු (Tongzhou) සමූහයට අයත් ලියුෂෙන්යු (Liushenyu) ගල් අඟුරු පතල තුළ මෙම අනතුර සිදු වී ඇති අතර, මෑත දශකය තුළ එරට පතල් කර්මාන්තය ආශ්‍රිතව සිදු වූ දරුණුතම සහ මාරාන්තිකම අනතුරක් ලෙස මෙය වාර්තා වේ. ෂින්හුවා (Xinhua) රාජ්‍ය පුවත් ඒජන්සිය සහ සී.සී.ටී.වී (CCTV) මාධ්‍ය ජාලය පෙන්වා දෙන්නේ පිපිරීම සිදු වන අවස්ථාවේදී පතල භූගත පරිශ්‍රය තුළ සේවකයින් 247 දෙනෙකු සේවයේ නිරතව සිට ඇති බවයි.
ඊයේ (22) දින එරට වේලාවෙන් රාත්‍රී 19:29 ට පමණ පතල් උමං තුළ අධික ලෙස විෂ වායුවක් වන කාබන් මොනොක්සයිඩ් සහ අනෙකුත් වායුන් එක්රැස් වීම හේතුවෙන් මෙම බිහිසුණු පිපිරීම සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් විසින් සේවකයින් 150 කට අධික පිරිසක් නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත් වුවද, පතල් උමං මාර්ග කඩා වැටීම සහ විෂ වායු ඝනත්වය ඉහළ යාම හේතුවෙන් සෙසු පිරිස එහි සිරවී තිබේ. මේ වන විට මළසිරුරු 82 ක් සොයාගෙන ඇති අතර, තවත් සේවකයින් 9 දෙනෙකු අතුරුදහන්ව ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් බිය පළ කරති.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට සහ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සෙවීමේ සහන කටයුතු සඳහා උපරිම ශක්තිය යොදවන ලෙසත්, අනතුරට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නියෝග කර තිබේ. ඒ අනුව අදාළ පතල් සමාගමේ ඉහළ විධායක නිලධාරීන් කිහිපදෙනෙකු මේ වන විටත් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, විෂ දුමාරය සහ උමං මාර්ගවල පවතින අස්ථාවරත්වය මධ්‍යයේ වුවද දැවැන්ත මුදවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














