මෝරුන් සහ මඩු මසුන් පිළිබඳ ලොව කීර්තිමත් විද්‍යාත්මක හමුවක් වන ‘Sharks International 2026’ සමුළුව අද (4) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) නිල වශයෙන් ආරම්භ විය. මෙවැනි ගෝලීය සමුළුවක් ශ්‍රී ලංකාවේ පවත්වන පළමු අවස්ථාව මෙය වන අතර, මේ සඳහා රටවල් 80කට අධික සංඛ්‍යාවක පර්යේෂකයින්, පරිසර සංරක්ෂකයින් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයෙකු ලෙස එක්වෙමින් සාගර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා වන ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කළේය. වාර්ෂිකව මෝරුන් සහ මඩු මසුන් මිලියන 100කට අධික ප්‍රමාණයක් විනාශ වන බවත්, ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ 105ක් අතුරින් විශේෂ 70ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවත් මෙහිදී අනාවරණය විය.
සතියක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී තාක්ෂණික සැසි සහ ප්‍රතිපත්තිමය සාකච්ඡා රැසක් පැවැත්වීමට නියමිතය. මෝරුන් සහ මඩු මසුන් හඳුනාගැනීම හා නීතිවිරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා ජාන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම සම්බන්ධයෙන් කලාපීය නායකත්වයක් ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි. CITES සහ CMS වැනි ජාත්‍යන්තර සම්මුතීන් යටතේ මෙම ජීවීන්ට ලබා දෙන ආරක්ෂාව පුළුල් කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරේ.














