වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ වසර තිස් අටක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු අද (08) පොලිස් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගෙන තිබේ. ඔහුගේ විශ්‍රාම යාම නිමිත්තෙන් අද කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පොලිස් ආචාර පෙළපාලියක්ද පවත්වා ඇත.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) ලෙස ඉතිහාසයට එක්වූ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු සහ ආචාර්ය උපාධිධාරියෙකු වන ඔහු, විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ඉටුකළ සුවිශේෂී සන්නිවේදන කාර්යභාරය සහ තම වෘත්තීය නිපුණතාවය නිසා මහජන ගෞරවයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. කොස්ගම උපත ලැබූ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අජිත් රෝහණ මෙලෙස දශක කිහිපයක සුවිශේෂී සේවා කාලයක් නිම කරමින් සමුගෙන තිබේ.














