ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම වසර අවසන් වන විට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමටත්, ලංගම අරමුදල් යොදා තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. කඩවත මෙට්‍රෝ ඩිපෝ අංගණයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (07) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
මෙම මාසය තුළ මෙට්‍රෝ බස් සේවාවේ බස් රථ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ නැංවීමටත්, තවත් බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම පවසා තිබේ. ඒ අනුව මෙම වසර අවසන් වන විට හෝ ලබන වසරේ මුල් භාගය වන විට මෙට්‍රෝ බස් සේවාව බස් රථ 172ක් දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර, මෙම සේවාව බස්නාහිර පළාතෙන් ඔබ්බට ගාල්ල, මහනුවර සහ යාපනය යන ප්‍රදේශවලට ද හඳුන්වා දීමටත්, ඉදිරියේදී පෞද්ගලික අංශයට ද මෙට්‍රෝ ආයතනය සමඟ ගිවිසුම්ගතව බස් සේවාව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.














