සිරිළිය නඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ කරුණු රැසක් අනාවරණය කළේය.
සැකකාරියට ඇප ඉල්ලමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, වයස අවුරුදු 73ක් වන ඇයගේ ධමනි කිහිපයක් කොලෙස්ටරෝල්වලින් අවහිර වී ඇති අතර, 2019 වසරේ සිට හෘද රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබන බවයි. හිටපු ගමන් කරකැවිල්ල ඇති වී ක්ලාන්ත වී වැටෙන බවත්, ඇයට හෘදයාබාධයක් (Heart Attack) ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව කොඳු ඇට පෙළේ ආබාධයකින් සහ වෙරිකෝස් තත්ත්වයකින්ද ඇය පෙළෙන බැවින්, මෙම සුවිශේෂී තත්ත්වයන් සලකා බලා ඇයට ඇප ලබා දෙන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියද, ලබන 13 වැනිදා දක්වා ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. කෙසේ වෙතත්, අක්ෂි රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන වෛද්‍යවරයා වෙත ඇයව හෙට (08) දින දහවල් 12:30ට නවලෝක රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කෙරිණි.
















