OpenAI සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන ශිවෝන් සිලිස් (Shivon Zilis), ලොව ප්‍රකට බිලියනපති එලොන් මස්ක් සමඟ ඇති කරගත් අසාමාන්‍ය පෞද්ගලික සම්බන්ධතාවය පිළිබඳව කැලිෆෝනියාවේ ෆෙඩරල් අධිකරණයක් හමුවේ සාක්ෂි ලබා දෙමින් කරුණු හෙළිදරව් කර තිබේ. ඇය පවසන පරිදි, දැනට ඇය සතු දරුවන් හතරදෙනාගේම පියා එලොන් මස්ක් වේ.
එලොන් මස්ක් විසින් OpenAI සමාගමට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව සාක්ෂි ලබා දෙමින් ඇය ප්‍රකාශ කළේ, 2020 වසරේදී තමා මවක වීමට දැඩි කැමැත්තකින් සිටි අවධියක මස්ක් විසින් තමාට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බවයි. එකල මස්ක් තමා වටා සිටින සියලු දෙනාට දරුවන් ඇති කර ගැනීමට දිරිගැන්වූ බවත්, තමාට දරුවන් නොමැති බව දැක ඔහු මෙම යෝජනාව කළ බවත් ඇය සඳහන් කළාය. මීට දශකයකට පමණ පෙර තමා මස්ක් සමඟ කෙටි ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූවද, 2020 දී මෙම දරුවන් පිළිසිඳ ගන්නා විට ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් නොතිබූ බව ඇය අවධාරණය කළාය.
පළමුව නිවුන් දරුවන් ලැබුණු විට මස්ක්ගේ පිය පදවිය “අතිශය රහසිගතව” තබා ගැනීමට ඔවුන් දෙදෙනා එකඟ වී තිබුණි. මේ හේතුවෙන් ඇය OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන්ගෙන් ද මෙම රහස වසන් කළාය. කෙසේ වෙතත්, 2022 වසරේදී මේ පිළිබඳ මාධ්‍ය වාර්තාවක් පළ වීමට නියමිත බව දැනගත් පසු ඇය ඒ පිළිබඳව ඇල්ට්මන් දැනුවත් කර තිබේ. සිලිස් පවසන පරිදි එලොන් මස්ක් මේ වන විට සිය දරුවන් හතරදෙනා වෙනුවෙන් සක්‍රීයව පියෙකු ලෙස කටයුතු කරන අතර, සතියකට පැය කිහිපයක් ඔවුන් සමඟ කාලය ගත කරයි.
මස්ක්ගේ ටෙස්ලා (Tesla) සහ නියුරලින්ක් (Neuralink) යන සමාගම්වල ද විධායක තනතුරු දරා ඇති ශිවෝන් සිලිස්, 2023 මාර්තු මාසයේදී OpenAI අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස් වූයේ එලොන් මස්ක් විසින් OpenAI හි සෘජු තරඟකරුවෙකු ලෙස ‘xAI’ සමාගම ආරම්භ කිරීමත් සමඟය.














