නිර්මාණශීලී හැකියාවන් සහිත තරුණ ලේඛක ලේඛිකාවන් දිරිගැන්වීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන “සිහිනයට පියාපත්” වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම අද (07) ආරම්භ විය.
දක්ෂතාවය තිබුණද මූල්‍ය අපහසුකම් හේතුවෙන් සිය නිර්මාණ ප්‍රකාශයට පත් කරගත නොහැකි තරුණ ලේඛක ලේඛිකාවන්ට අතහිත දීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර රජයේ මැදිහත්වීමෙන් අමාත්‍යාංශයක් හරහා තරුණ ලේඛකයන් වෙනුවෙන් මෙවැනි අවස්ථාවක් ලබාදෙන පළමු අවස්ථාව මෙය බව නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා අවධාරණය කළේය. ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන නවකතා, කෙටිකතා සහ කාව්‍ය අත්පිටපත් අතරින් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගනු ලබන විශිෂ්ටතම කෘති 30ක් මුද්‍රණය කිරීම සඳහා අමාත්‍යාංශය සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය දක්වනු ලබයි. අත්පිටපත් භාරගන්නා අවසාන දිනය 2026 ජූලි 31 වනදා වන අතර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේ කලා සහ සාහිත්‍ය අනුමණ්ඩලවල මගපෙන්වීම යටතේ විනිශ්චය කටයුතු අතිශය විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවයි.














