සීගිරිය අභයභූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවේ පූර්ව අවසරයකින් තොරව වගා ළිඳක් කැපීම සහ ගස් කපා දැමීම සම්බන්ධයෙන් ප්රවීණ නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අභයභූමිය තුළ බැකෝ යන්ත්ර යොදාගෙන වගා ළිඳක් කපන බවටත් ඒ සඳහා ගස් කපා දමා ඇති බවටත් වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී වගා ළිඳ කැපීමට යොදාගත් බැකෝ යන්ත්රයක්, ලොරි රථයක්, ට්රැක්ටරයක් සහ කපා දමන ලද ගස්වල දැව කඳන් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අභයභූමියක් ලෙස ප්රකාශයට පත් කර ඇති කලාපයක පිහිටි පෞද්ගලික ඉඩමක වුවද කිසියම් ඉදිකිරීමක්, කැණීමක් හෝ ගස් කැපීමක් සිදු කරන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ලබා ගැනීම අනිවාර්ය බව සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක මලින්ද මහතා පෙන්වා දී තිබේ. අදාළ ඉඩම පෞද්ගලික ඉඩමක් බැවින් මෙවැනි නීතිමය තත්ත්වයක් පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව අත්අඩංගුවට ගත් සැකකරුවන් වනජීවී නිලධාරීන් හමුවේ ප්රකාශ කර ඇති අතර, ඔවුන් හෙට (31) දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















