27 April 2024
#ක්‍රීඩා

හොකී ක්‍රීඩා පිටි සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

හොකී සම්මේලනයට නව මූලස්ථානයක් ලබාදී හොකී ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුම අත්සන් කළ බව පසුගිය (15) වනදා ටොරින්ටන් හි පිහිටි හොකී ක්‍රීඩාගාර පරිශ්‍රයේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසිය.

ලාංකේය හොකී ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් සහ ක්‍රීඩකයන්ගේ පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි කෘත්‍රිම හොකී තණතිල්ල සමග ගොඩනැගිල්ල (Astro Turf Complex) ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ප්‍රධාන මූලස්ථානය ලෙස හොකී සම්මේලනය වෙත ලබාදීම මෙහිදි අමාත්‍යවරයා අතින් සිදුවිය.

මීට සමගාමීව හොකී ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ඒ සඳහා අවශ්‍ය වන කෘත්‍රිම තණතිල්ල සංවර්ධන කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා හොකී සම්මේලනය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබිණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා හොකී සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් පී. විශ්වනාදන් මහතා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

එම අවස්ථාවට ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා ඇතුළුව CH & FC කණ්ඩායම සහ ආරක්ෂක සේවා කණ්ඩායම නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *