ශ්‍රී ලාංකේය තරුණ ලේඛක පරපුරේ නිර්මාණශීලී දක්ෂතාවලට පණ දීම වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය “සිහිනයට පියාපත්” නමින් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. නිර්මාණකරණයට දක්ෂතාවය සහ කැමැත්ත තිබුණද සිය ප්‍රථම කෘතිය මුද්‍රණය කර ගැනීමට මූල්‍යමය ශක්තියක් නොමැති තරුණ ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් තෝරාගන්නා දක්ෂ නිර්මාණ 30ක් මුද්‍රණය කිරීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම නවකතා, කෙටිකතා සහ කාව්‍ය අත්පිටපත් ඉදිරිපත් කිරීමට තරුණ නිර්මාණකරුවන්ට අවස්ථාව සලසා දී ඇත. අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ කලා සහ සාහිත්‍ය අනුමණ්ඩලවල ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් හරහා ඉතා විනිවිදභාවයකින් යුතුව මෙම කෘති තෝරා ගන්නා බවයි.
අමාත්‍යාංශයක් මැදිහත් වී තරුණ ලේඛකයන් වෙනුවෙන් මෙවැනි මූල්‍යමය සහයෝගයක් ලබා දෙන පළමු අවස්ථාව මෙය වන බව නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මේ සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 ජූලි 31 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් තම සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ ලේඛක ලේඛිකාවන්ට මෙය ඉතාමත් වටිනා අවස්ථාවකි.















