ශ්‍රී ලංකාව වාර්ෂිකව පාම් තෙල් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 140,022 ක දැවැන්ත මුදලක් වැය කරන බව මහාචාර්ය අශෝක නුගවෙල මහතා අනාවරණය කරයි. 2025 වසරේ දත්ත අනුව මෙරට පාම් තෙල් පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර එම වසරේදී පමණක් පාම් තෙල් මෙට්‍රික් ටොන් 38,210ක් සහ පොල් තෙල් මෙට්‍රික් ටොන් 33,696ක් මෙරටට ආනයනය කර තිබේ. දේශීයව පාම් වගා කිරීම තහනම් කර තිබීම හේතුවෙන් මෙලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමි වන බව හෙතෙම පෙන්වා දෙයි.
මෙරට ආහාර කර්මාන්තයට සහ ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය තෙල් දේශීයව නිපදවා ගැනීම සඳහා සැලසුම් කර තිබූ හෙක්ටයාර 8,000 ක පාම් වගා ව්‍යාප්තිය වළක්වා තිබීම මෙම ආර්ථික පසුබෑමට ප්‍රධාන හේතුව වී ඇත. 2021 වසරේදී පැනවූ මෙම වගා තහනම හේතුවෙන් මෙරට ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයට සහ කෘෂිකාර්මික ඵලදායීතාවයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, මෙවැනි වගාවන් සීමා කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
ගෝලීය වෙළෙඳපොළේ පාම් තෙල් මිල මේ වන විට මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 1,100ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක දේශීය වගාවන් කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. නිසි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් වගා කළහොත් හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් හතක අස්වැන්නක් ලබාගත හැකි බව පෙන්වා දෙන විශේෂඥයන්, මේ පිළිබඳව වත්මන් රජය දැනුවත් කර තිබේ. ඒ අනුව පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත ද ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී මෙම තහනම ඉවත් කිරීම පිළිබඳව සාධනීය තීරණයක් බලාපොරොත්තු විය හැකිය.














