කාන්තාවක සමඟ පවත්වාගෙන ගිය සබඳතාවක් සහ ඊට අදාළව ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal Ibrahim) සිය අමාත්‍ය ධුරයෙන් සහ පාලක ‘ජනතාවගේ ක්‍රියාකාරී පක්ෂයෙන්’ (PAP) ඉල්ලා අස්වී තිබේ. සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොං විසින් මේ පිළිබඳව නිල වශයෙන් තහවුරු කර ඇත.
අදාළ කාන්තාව සහ අමාත්‍යවරයා අතර අන්තර්ජාල පණිවුඩ ඔස්සේ සබඳතා පවත්වා ඇති අතර, පසුව දෙපාර්ශ්වය විසින්ම එකිනෙකාට එරෙහිව හිරිහැර කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරගැනීම නිසා මේ වන විට පොලිස් පරීක්ෂණ ද ක්‍රියාත්මක වේ. කිසිදු අපරාධමය වරදක් සිදුව නොමැති බව තහවුරු වී තිබුණද, දේශපාලනඥයෙකු ලෙස පවත්වාගෙන යා යුතු ආචාරධර්ම කඩවීම හේතුවෙන් මෙලෙස ඉල්ලා අස්වීමට සිදු වූ බව කියැවේ. ආරම්භයේදීම නිසි සීමාවන් පවත්වා ගැනීමට අපොහොසත් වීම පිළිබඳව තමන් කණගාටු වන බව ෆයිසාල් ඉබ්‍රාහිම් ප්‍රකාශ කර තිබේ.
2006 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු 2025 වසරේදී ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කෙරුණි. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් පවත්වාගෙන යන පාලක PAP පක්ෂය මෑත කාලයේ මුහුණ දුන් දේශපාලන සිදුවීම් මාලාවක තවත් එක් අවස්ථාවක් ලෙස මෙය සැලකේ.
















