ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (20) සිදු කෙරිණි. මියයන විට 63 වැනි වියේ පසුවූ ඒ මහතා පසුගිය 17 වැනිදා උදෑසන සිය නිවසේදී වෙඩි වැදීමකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.
සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිදුකරගත් සියදිවි හානිකරගැනීමක් බවට පොලිසිය සැක කරන මෙම මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
1986 වසරේදී පොලිස් සේවයට එක්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා, 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙසත්, 2020 නොවැම්බර් 27 වැනිදා සිට ස්ථිර පොලිස්පතිවරයා ලෙසත් කටයුතු කළේය. සේවා දිගු කිහිපයකට පසුව ඔහු 2023 නොවැම්බර් 23 වැනිදා ධුරයෙන් විශ්‍රාම ලැබීය.
















