2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව අද (14) පූර්වභාග 09.32 ට යෙදුණු සුබ මොහොතින් සිදු විය. රට පුරා විසිරී සිටින ජනතාව මහත් අභිමානයෙන් සහ උද්යෝගයෙන් යුතුව නව වසර පිළිගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටිති. අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ඉදිරි ප්‍රධාන චාරිත්‍ර ඉටු කළ යුතු ආකාරය මෙසේය.
අද පූර්වභාග 10.51 ට ආහාර පිසීමේ නැකත යෙදී තිබේ. එහිදී රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, කිරි මිශ්‍ර කිරිබතක් මෙන්ම තල සහ විළද මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කිරීම සුදුසු බව නැකැත් ශාස්ත්‍රයේ දැක්වේ. ඉන් අනතුරුව වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද අපරභාග 12.06 ට යෙදී ඇත. එම චාරිත්‍රය සඳහා ද රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා කටයුතු කිරීම මැනවි.
හෙට (15) දිනට හිසතෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය යෙදී තිබේ. හෙට පූර්වභාග 06.55 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් සීට්ටුවේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම සාම්ප්‍රදායික චාරිත්‍ර සමූහය ඉටු කරමින් මුළු රටම එකම රිද්මයකට නව වසරේ සුබපල ප්‍රාර්ථනා කරයි.














