එස්. ගොඩගේ සහ සහෝදරයෝ (පෞද්ගලික) සමාගමේ නිර්මාතෘ, දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඊයේ (අප්‍රේල් 30) සහභාගී විය.
1960 දශකයේ සිය ප්‍රකාශන ආයතනය ආරම්භ කළ ඔහු දශක හයකට අධික කාලයක් ශාස්ත්‍රීය ග්‍රන්ථ, ළමා සාහිත්‍යය සහ පර්යේෂණ කෘති දහස් ගණනක් පාඨක ලෝකයට දායාද කළේය. ගුණාත්මක පොත්පත් සාමාන්‍ය ජනතාවට සමීප කරවීමට ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අතර ඔහුගේ දූරදර්ශී දැක්ම මෙරට ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය නව මාවතකට යොමු කිරීමට සමත් විය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර සහ සයිමන් නවගත්තේගම වැනි ප්‍රාඥයන්ගේ කෘති මෙන්ම නවක ලේඛක ලේඛිකාවන් රැසකගේ නිර්මාණ දොරට වැඩීමට ඔහු අවස්ථාව සලසා දුන්නේය. සිංහල සාහිත්‍ය කලා කෙත පෝෂණය කිරීමට ඔහු කළ දායකත්වය මෙන්ම භාෂාව, ඉතිහාසය සහ සංස්කෘතිය වැනි විෂයන් ඔස්සේ ඔහු ඉතිරි කළ ශාස්ත්‍රීය උරුමය අතිමහත්ය.













