ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව ගතවූ මාස 18 ක කාලය තුළ රටේ ආර්ථිකය වර්ධනය කිරීමට හෝ රැකියා උත්පාදනය කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා චෝදනා කරයි. අද (28) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු සියල්ල අමතක කර දමා ඇති ආණ්ඩුව, වර්තමානය වන විට තනිකරම බොරුව සහ වංචාව මත යැපෙන පාලනයක් බවට පත්ව ඇති බවයි.
විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේ සිදුවූ බව කියන මහා පරිමාණ ගල් අඟුරු වංචාව පිළිබඳව කරුණු අනාවරණය කළ මරික්කාර් මහතා, මෙරටට පැමිණි ගල් අඟුරු නැව් 16 කින් 14 ක්ම ප්‍රමිතියෙන් තොර බව පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වී ඇති බව පැවසීය. මෙමගින් විදුලිය උත්පාදනය අවම වී ඇති අතර, ඒ හරහා සිදුවන පාඩුව පියවා ගැනීමට ඩීසල් බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදී ගැනීමට රජයට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද මහ භාණ්ඩාගාරයේ මුදල් වෙනත් ගිණුම්වලට බැර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මෙය හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව පවසමින් රජය ජනතාව නොමඟ යවන බවත්, පද්ධතියකට ඇතුළු වී මුදල් සොරකම් කරන හැකර්වරුන් නිලධාරීන්ගෙන් අනුමැතිය හෝ අත්සන් ලබා නොගන්නා බවත් අවධාරණය කළේය.
මෙම මූල්‍ය මංකොල්ලය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට නම් මුදල් අමාත්‍යවරයා සහ මුදල් ලේකම්වරයා වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය. ජාතික සම්පත් විකිණීමට එරෙහිව බලයට පත් ආණ්ඩුව අද වන විට එම සම්පත් විකුණමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මතම ක්‍රියා කරන බවත්, ආණ්ඩුවේ මෙම “බොරු පාලනයට” එරෙහිව සමගි ජන බලවේගය විසින් ‘පච මදිවට බොරු – විකල්පයේ මැයි රැළිය‘ නමින් මැයි දින රැළිය සංවිධානය කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.














