දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වී සුරක්ෂිත මධ්‍යස්ථාන, කූඩාරම් සහ ඥාති නිවාසවල රැඳී සිටින පවුල් වෙනුවෙන් කඩිනමින් අන්තර්කාලීන නිවාස ඉදිකර දීමට රජය තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පූර්ණ නිවාස හානි 6,088ක් සහ අර්ධ නිවාස හානි 115,179ක් වාර්තා වී ඇති අතර, නිවාස අහිමි වූවන් සඳහා රුපියල් 25,000ක මාසික කුලී දීමනාවක් ලබා දීමට රජය පියවර ගෙන තිබුණ ද ආපදාවට ලක්වූ ප්‍රදේශවලින් කුලී නිවාස සොයාගැනීමේ දුෂ්කරතාවයක් මතුව තිබේ. ඒ අනුව, කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල තවමත් තාවකාලික ස්ථානවල රැඳී සිටින පවුල් 1,000ක් සඳහා මෙම අන්තර්කාලීන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) තාක්ෂණික සැලසුම්වලට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය යොදාගනිමින් මෙම නිවාස ඉදිකිරීමට නියමිතය. විපතට පත්වූවන්ට ස්ථිර නිවාස ඉදිකර අවසන් වන තෙක් ආරක්ෂිතව පදිංචිව සිටීම සඳහා මෙම අන්තර්කාලීන නිවාස පහසුකම සැලසෙනු ඇත.














