ලොව දෙවන විශාලතම මතක චිප (Memory chip) නිෂ්පාදකයා වන දකුණු කොරියාවේ SK Hynix සමාගම, කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අවශ්‍ය උසස් මතක චිප නිෂ්පාදනය පුළුල් කිරීම වෙනුවෙන් වොන් ට්‍රිලියන 19ක (අමෙරිකානු ඩොලර් බිලියන 12.85ක) දැවැන්ත ආයෝජනයක් සිදු කරන බව අද (22) නිවේදනය කළේය.
මෙම ආයෝජනය යටතේ දකුණු කොරියාවේ නවතම නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිත අතර, එහි ඉදිකිරීම් කටයුතු මෙම මාසයේදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම AI පද්ධති සඳහා අත්‍යවශ්‍ය වන අධි-කලාප පළල මතක චිප (High Bandwidth Memory – HBM) සහ උසස් ඇසුරුම්කරණ (Advanced Packaging) තාක්ෂණයන් දියුණු කිරීම මෙම නව කර්මාන්තශාලාවේ ප්‍රධාන අරමුණයි. ගෝලීය වශයෙන් AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මතක චිප සඳහා පවතින ඉල්ලුම සපුරාලීමටත්, වෙළඳපොළ තුළ සිය ප්‍රමුඛත්වය රැක ගැනීමටත් මෙම පියවර ඉවහල් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














