ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයට චීනය මැදිහත් වූ බව පවසමින් රහස්‍ය බුද්ධි තොරතුරු කිහිපයක් අනාවරණය කර තිබේ. 2020 මැතිවරණයේදී තමා පරාජයට පත් වූ ඡන්ද විමසීමේදී බීජිං පාලනය කිසිදු තාක්ෂණික අංශයක් වෙනස් කිරීමට කටයුතු කළ බවට සාක්ෂි නොමැති බව ඇමෙරිකානු බුද්ධි අංශ මීට පෙර නිගමනය කර තිබියදී, ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයකි.
ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද මෙම තොරතුරු පිළිබඳව විමර්ශනය කළ රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ, එම ඇතැම් ලේඛනවලින් පෙන්වා දෙන්නේ චීනය මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට මැදිහත් වීමේ අදහසක් නොමැති බවත්, තවත් ලේඛනයක් වෙනිසියුලාවේ මැතිවරණයකට අදාළ බවත්ය.
චීනය විසින් ඇමෙරිකානු ඡන්දදායකයින්ගේ නාමලේඛන සහ අනෙකුත් පුද්ගලික දත්ත මිලියන 220ක් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බව ජනාධිපතිවරයා පවසයි. කෙසේ වෙතත්, ඇමෙරිකානු බුද්ධි අංශ මගින් 2021 දී සිදු කළ ඇගයීමකට අනුව, ඡන්ද ලියාපදිංචි කිරීම්, ඡන්ද පත්‍රිකා හෝ ප්‍රතිඵල වැනි කිසිදු තාක්ෂණික අංශයක් වෙනස් කිරීමට කිසිදු විදේශීය පාර්ශවයක් උත්සාහ කර හෝ සාර්ථක වී නොමැති බව තහවුරු කර ඇත.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන චීන තානාපති කාර්යාලය පවසන්නේ, චීනය කිසිදු විටෙක ඇමෙරිකානු ජනාධිපතිවරණවලට මැදිහත් වී නොමැති බවත් අනාගතයේදීත් එසේ නොකරන බවත්ය. ඩිමොක්‍රටික් සෙනෙට් සභික මාර්ක් වෝනර් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි. එසේම, රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පවා පවසන්නේ තමන් 2020 මැතිවරණය ගැන නොව, 2026 මැතිවරණය ගැන අවධානය යොමු කර ඇති බවයි.
නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අතරමැදි මැතිවරණයට පෙර ඡන්ද ආරක්ෂාව පිළිබඳව මහජන අවධානය දිනා ගැනීම ට්‍රම්ප්ගේ මෙම පියවරේ අරමුණ බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.














