ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යාපනික කටයුතු ශක්තිමත් කිරීම සඳහා කියුබානු රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට එරට තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය එකඟතාව පළ කර තිබේ. කියුබානු තානාපතිනිය සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා ඇතුළු නිලධාරීන් අතර ඊයේ (13) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත.
ජාතික ක්‍රීඩා විද්‍යායතනය මඟින් දැනට ක්‍රියාවට නංවන ක්‍රීඩා අධ්‍යාපන වැඩසටහන් තවදුරටත් නවීකරණය කිරීමටත්, ඒ සඳහා කියුබාවේ ඇති ජාත්‍යන්තර අත්දැකීම් සහ විශේෂඥ දැනුම ලබාදීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ කියුබාව අතර 2012 වසරේදී අත්සන් කරන ලද ක්‍රීඩා සංවර්ධන ගිවිසුම වර්තමානයට ගැළපෙන පරිදි ක්‍රියාවට නැංවීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
කියුබාව සහ එරට ජනතාව දැනට විවිධ ජාත්‍යන්තර දුෂ්කරතාවලට මුහුණ දී සිටියද, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තම රට සැමවිටම සූදානම් බව තානාපතිනිය මෙහිදී අවධාරණය කළාය.














