ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අනන්‍යතාවන් ව්‍යාජ ලෙස භාවිත කරමින් WhatsApp සහ Telegram ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා සිදු කරගෙන යනු ලබන මූල්‍ය කප්පම් ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මහජනතාව වෙත විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර හා දේශීය වංචාකරුවන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහ නිල තොරතුරු උපයෝගී කරගනිමින් ව්‍යාජ ගිණුම් (Fake Profiles) සකස් කර ඇති බවයි. පසුව ඔවුන් එම ගිණුම් හරහා දුරකථන ඇමතුම්, WhatsApp පණිවිඩ සහ Telegram චැට් මඟින් විවිධ පුද්ගලයන් සම්බන්ධ කර ගන්නා බව වාර්තා වේ.
මෙහිදී සිදුවන සුවිශේෂී වංචනික ක්‍රියාවලිය සහ ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව බලධාරීන් මෙසේ ජනතාව දැනුවත් කරති.
“මෙම වංචාකරුවන් විසින් ඉලක්ක කරගන්නා පුද්ගලයන් වෙත විවිධ චෝදනා එල්ල කරමින් හෝ නීතිමය පියවර ගන්නා බව පවසමින් දැඩි ලෙස තර්ජනය කරනු ලබනවා. ඉන් අනතුරුව එම නීතිමය ගැටලුවලින් නිදහස් කිරීම සඳහා විවිධ ගෙවීම් හෝ මූල්‍යමය දායකත්වයන් ලබා දෙන ලෙසයි ඔවුන් බලකර සිටින්නේ. අප මෙහිදී පැහැදිලිවම අවධාරණය කරනවා ශ්‍රී ලංකා පොලිසිය කිසිදු අවස්ථාවක සමාජ මාධ්‍ය වේදිකා, පණිවිඩ හුවමාරු යෙදුම් (Messaging Apps) හෝ පෞද්ගලික ගිණුම් හරහා මහජනතාවගෙන් මුදල් ඉල්ලා සිටින්නේ නැහැ.”
මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් යම් පුද්ගලයෙකු මුදල් ඉල්ලා සිටින්නේ නම්, කිසිදු හේතුවක් මත මුදල් යැවීමෙන් වළකින ලෙසත්, එවැනි සැකකටයුතු සන්නිවේදනයන් පිළිබඳව වහාම විමසිලිමත් වන ලෙසත් SLCERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, යම් හෙයකින් මෙවැනි වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් හෝ එවැනි තොරතුරක් අනාවරණය කරගතහොත්, ඒ පිළිබඳව ප්‍රමාද නොවී වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ අදාළ ආරක්ෂක බලධාරීන් වෙත දැනුම් දෙන ලෙස ද දන්වා සිටියි.
















