දිවයින පුරා පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් ඩිපෝ 107 ම මේ වන විට දැඩි ටයර් හිඟයකට මුහුණ දී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හේතුවෙන් දුර ගමන් සේවා මෙන්ම ග්‍රාමීය මාර්ගවල ධාවනය වන බස් රථ රැසක් නතර වී ඇති අතර, මණ්ඩලයට දිනකට විශාල මූල්‍ය අලාභයක් සිදු වෙමින් පවතී.
කතරගම ඩිපෝව ආශ්‍රිතව මෙම ගැටලුව දැඩිව පවතින අතර, කතරගම සිට යාපනය, මහනුවර, කොළඹ, හලාවත සහ බදුල්ල දක්වා දිවෙන බස් රථ රැසක් ධාවනයෙන් ඉවත් කර ඇත. මීට අමතරව වෙහෙරපැලැස්ස සහ මාගම වැනි ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු ද සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට තිබේ.
මෙම හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ටයර් සැපයුම්කරුවන් විසින් මිල ඉහළ නංවන ලෙස ඉල්ලමින් සැපයුම් අත්හිටුවා තිබීමයි. ලංගම ප්‍රධාන විධායක නිලධාරී ධම්මික රත්න මහතා සඳහන් කළේ, සැපයුම්කරුවන් සමඟ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් පවතින අතර කඩිනමින් ගැටලුව විසඳීමට උත්සාහ කරන බවයි.
බස් රථ ධාවනය නොවීම හේතුවෙන් ලංගමයට දිනකට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදුවන බව සේවකයෝ පෙන්වා දෙති. එසේම, දෛනික ගමනාගමන කටයුතු සඳහා ලංගම බස් රථ මත යැපෙන ග්‍රාමීය ජනතාව සහ දුර බැහැර යන මගීන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.














