මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය සම්බන්ධයෙන් පවතින ආර්ථික සහ සෞඛ්‍යමය තත්ත්වය අතිශය භයානක මට්ටමක පවතී. ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 52ක් දුම්වැටි වෙනුවෙන් වියදම් කරන අතර, 2019 වසරේදී පමණක් දුම්වැටි භාවිතය හේතුවෙන් සෞඛ්‍ය සහ ආර්ථික ක්ෂේත්‍රවලට සිදුවූ සමස්ත පිරිවැය රුපියල් කෝටි 21,400ක් ලෙස වාර්තා වේ. වසරකට සිදුවන අකල් මරණ 20,000කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රධාන හේතුව දුම්වැටි භාවිතය බව දත්ත තහවුරු කරයි.
තවද, 2024 වසරේදී විධිමත් බදු එකතු කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි 940ක් වේ. මෙම දැවැන්ත මුදල රජයේ භාණ්ඩාගාරයට ලැබීම වෙනුවට නිෂ්පාදකයාගේ ලාභය ලෙස ඉතිරි වී තිබීම බරපතළ කාරණයකි. මීට අමතරව වාර්ෂිකව පරිසරයට මුදාහැරෙන සිගරට් කොට බිලියන 1.8ක් මගින් විෂ රසායනික ද්‍රව්‍ය 7,000ක් අපගේ පරිසර පද්ධතියට එක් වේ. මෙම මූල්‍ය අක්‍රමිකතා, බදු වංචා සහ පාරිසරික ව්‍යසනයන් පූර්ණ ලෙස විමර්ශනය කර, වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙස බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිය යුතු වේ.
















