පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ රටේ සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා, විදුලි බිල, තෙල් මිල සහ උපයන ආදායම මත රජය විසින් අතිවිශාල ලෙස බදු පටවද්දී, මහා පරිමාණයෙන් ලාභ ලබන දුම්වැටි (සිගරට්) සමාගම් සඳහා පමණක් අනුගමනය කරන ලිහිල් සහ රහසිගත බදු සහන ප්‍රතිපත්තියට එරෙහිව මෙරට පොදු මහජනතාව සහ තාරුණ්‍යය අතරින් දැවැන්ත දුම්වැටි වර්ජන ව්‍යාපාරයක් (Boycott Cigarettes Campaign) මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් නිර්මාණය වෙමින් පවතී. “බදු සඳහා වංගු ගසන සිගරට් වර්ජනය කරමු” යන තේමාව පෙරදැරි කරගනිමින්, මෙම බදු වංචාවට සහ අසාධාරණයට එරෙහිව පුරවැසියන් සෘජුවම ක්‍රියාත්මක විය යුතු බවට සමාජය තුළ දැඩි මතවාදයක් ගොඩනැගෙමින් පවතී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශිත සියයට 75ක (75%) බදු ප්‍රතිශතය සිගරට් සඳහා නිසි පරිදි පැනවීමට රජය අපොහොසත් වීම නිසා මේ වසරේදී පමණක් රටට අහිමි වන රුපියල් කෝටි 1,730ක (LKR 17.3 Billion) මහා ධනස්කන්ධය, මහජනතාව මත පැටවූ වැට් (VAT) සහ සමාජ ආරක්ෂණ (SSCL) බදු හරහා රජය විසින් ජනතාවගෙන් හූරාගෙන ඇති බව පැහැදිලි වේ. මෙලෙස ජාතික ධනය සහ මහජන සුභසාධනය වෙනුවෙන් වෙන්කළ හැකිව තිබූ මුදල් දුම්කොළ සමාගම්වල ලාභාංශ තර කිරීමට ඉඩහැරීමට එරෙහිව පාරිභෝගිකයන් පවසන්නේ, රජය බදු අය නොකරන්නේ නම් පුරවැසියන් ලෙස සිගරට් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම වර්ජනය කරමින් දුම්කොළ මාෆියාවේ සහ රජයේ මෙම සූරාකෑමට තීරණාත්මක පිළිතුරක් දිය යුතු බවයි.
මෙම වර්ජන රැල්ල හුදෙක් සෞඛ්‍යමය හේතුවක් මත පමණක් නොව, රටේ සිදුවන මහා පරිමාණ ප්‍රතිපත්තිමය බදු වංචාවන්ට සහ අසාධාරණ බදුකරණයට (Tax Injustice) එරෙහිව සිවිල් පුරවැසියන් විසින් මෙහෙයවනු ලබන දැවැන්ත ආර්ථිකමය විරෝධතාවයක් ලෙස දේශපාලන හා සමාජ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දුම්වැටි වර්ජනය කිරීම හරහා එකිනෙකා පරයා යන ජාතික ප්‍රතිලාභ රැසක් හිමිවන බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති; එනම්, බදු වංගු ගසන දුම්කොළ සමාගම්වල මහා පරිමාණ ලාභාංශ කඩා වැටීම, දුම්වැටි නිසා වැයවන පුද්ගලික මුදල් ඉතිරි කරගැනීමට හැකිවීම, ශරීරයට වැළඳෙන දරුණු පිළිකා සහ බෝ නොවන රෝගවලින් වැළකී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබීම සහ දුම්වැටි රෝගීන් වෙනුවෙන් රජයේ රෝහල් පද්ධතියට දැරීමට සිදුවන කෝටි ප්‍රකෝටි ගණනක මහජන මුදල් ඉතිරි කර ගැනීමට හැකි වීමයි.
















