හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු පදවාගෙන ආ මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජල්තර නිවාස සංකීර්ණයක් ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උල්හිටිය, ගිරාදුරුකෝට්ටේ පදිංචි 44 හැවිරිදි එක්දරු මවක් සහ බණ්ඩාරවෙල, දෙමෝදර පදිංචි 42 හැවිරිදි එක්දරු මවක් වේ. ඔවුන් දෙදෙනා ජල්තර ප්‍රදේශයේ ගොවිපළක සේවය සඳහා නැවතී සිටි නේවාසිකාගාරයේ සිට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
අනතුර සිදු කිරීමෙන් පසු පලාගිය රියදුරු සොයා පොලිසිය විසින් ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරනු ලැබීය. ඒ අනුව, ජල්තර රණාල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. ඔහු පෞද්ගලික ආයතනයක ගණකාධිකාරිවරයෙකු ලෙස සේවය කරන්නෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
















