රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ සහ දරුවන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා නින්දිත සහ අවමන් සහගත ප්‍රකාශ නිකුත් කරමින් “සමාජ මාධ්‍ය ත්‍රස්තවාදයක්” මුදාහැර ඇති බව සර්වජන බලය පක්ෂය චෝදනා කරයි.
රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ මහතා වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (08) පෙරවරුවේ ආරම්භ වූ අඛණ්ඩ සත්‍යග්‍රහයට එක්වෙමින් සර්වජන බලය උපසභාපති ආචාර්ය චන්න ජයසුමන මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම නින්දිත සමාජ මාධ්‍ය ප්‍රහාරය පිටුපස රජයේ ඇමතිවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් සහ ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සිටින බවට ද ඔහු සෘජුවම චෝදනා කර සිටියේය.
සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් සංවිධානය වූ මෙම සත්‍යග්‍රහය සඳහා මහා සංඝරත්නය මෙන්ම සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
කෙසේ වෙතත්, සත්‍යග්‍රහය වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සකස් කර තිබූ තාවකාලික අට්ටාලය පොලීසිය විසින් කඩා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ අද පස්වරුවේ එම ස්ථානයේ දැඩි නොසන්සුන් සහ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
















